අපෝ එපා වෙනව.මං අකමැතිම දේ තමයි Chemistry.නිදාගන්නව නම් අන්න ක්ලාස් එක.මොනවට මෙහෙම එකක් තියෙනවද මංදා..
“නරියෝ,නැගිටල කුණු කෙල ටික පිහිද ගනිං.ඔන්න ඉන්ටවල්” කොටා කෑ ගහනව.
අම්මෝ යන්තම් ඇති..මම ටක් ගාල නැගිටල ටැප් එක ගාවට දිව්ව.නැත්තම් මං එනකොට කන්න වෙන්නෙ කෑම ඔතපු පත්තර කොලේ විතරයි.මුන් ඒකවත් ඉතිරි කරොත් ලොකු දෙයක්..
යනකොට කෙල්ලො ටිකක් ටැප් එක බදු අරන්.ලැජ්ජාවට වඩා බඩගින්න ලොකුයි.අස්සෙන් රිංගල ගිහින් අත හෝදන්න හදනකොටම කෙල්ලෙක් මොන්ටිසෝරි කාලෙ බෝතලයක් ගෙනත් ගැහුව.
“මොන ___”
බුදු අම්මෝ නිදිමතේ මල පැනල තව පොඩ්ඩෙන් මෙතන රෙදි ගලව ගන්නව..මං බෝතලේ දාපු ඉබ්බි කවුද කියල බැළුව.මොන ඉබ්බියෙක්ද,මං දැක්කෙ හා පැටියෙක්..මං නිකං ඩිම් උනා.කොලු ගතියනේ…
“ඔන්න ඔය හදිස්සිකාරයට නා ගන්න දෙන්න” එයාගෙ ලඟ හිටපු හැදිච්ච පවුලක නැහැදිච්ච කෙල්ලෙක් කිව්වා..ඒකට කෙල්ලො සේරම හිකි හිකි ගාල හිනා උනා.ෂික් වසම වස නෝන්ඩිය.
“මට හදිස්සියක් නෑ”
මං අමුඩෙ ගැලවුන ටාසන් වගේ බිම බලං කිව්ව..කොල්ලො සෙට් එක හිටිය නම් දන්නව කරනදේ,මං තනියම නිසා මොනව කරන්නද..
ඉන්ටවල් එකෙන් පස්සෙ සුපුරුදු බෝරිං,චාටර් ජීවිතය..
“ඕයි බලපංකො අර කෙල්ල මේ පැත්ත බල බල හිනා වෙනව,ඒකි මට ලයින්ද කොහෙද”
කොටාගෙ බෙරිහන්දීමට මමත් බැළුව.. අම්මට සිරි මේ අර බෝතල් නංගිනෙ.
“- ඇයි උඹ රැජිනි කාන්ද ? හිටපං නිමාලිට කියන්න වෙන කෙල්ලොන්ට පෙරනව කියල..ගල් කොටෝ ඔය මං අර ඉන්ටවල් එකේ චාටර් කරපු කෙල්ල”
“අඩේ,පට්ටයිනෙ බං . ඒකි දැන් දහ පාරක් විතර මේ පැත්ත බැළුව. ට්‍රයි එකක් දාල බලපං”
මං බලං ඉන්න කොටම ඒපාර එයා මේ පැත්ත බැළුව.මමත් එයා දිහා බලං ඉන්නව දැකල එයා හිනා උනා..හරිම අහිංසක හිනාවක් එයාට තියෙන්නෙ.මමත් හිනා උනා.
“ඔය තියෙන්නේ,හවසට එහෙනම් අපිට කොත්තු පාටියක් හරී… ආ… මුගෙ මනමාල හිනාව විතරක්.මෙන්න මේ කොල කෑල්ලෙන් ඔය සෙවල ටික පිහිද ගනිං දැන්”
මූ නම් කාගෙ පුතෙක්ද මංදා.. මහ බලු කට ඒ මදිවට සද්දෙ..
“විකාරද බං,මං ඒකි දැක්කෙත් අදමයි.කාගෙ කවුද දන්නෙත් නෑ.අනික කොල්ලෙකුත් ඇති”
“- විස්තරද මල්ලි ඕන ? මේ ඉන්නෙ කාන්තා විශ්වකෝෂයක්ම, මචං වවුලා බලපං අර සුදු නංගි කවුද කියල ?’
“අයියෝ මස්සිනා එයා ඇවිල්ලා දීප්ති සඳමලී විජේසිංහ.ගම මචං අපේ ගමමයි,පියා බැංකුවෙ.මව home wife කෙනෙක් ? “
“- මොකෙක් ? “
“හෝම් වයිෆ් බං හෝම් වයිෆ්.. රස්සාවක් කරන්නෑ “
“- home wife නෙමෙයි බූරුවො house wife”
“හරි බං කවුරු හරි.අය්යල නෑ..පොඩි මල්ලි කෙනෙක් ඉන්නව.ඉස්සර නම් කොල්ලෙක් හිටියෙ නෑ .මමත් ලයින් කරා.වැඩක් නෑ බං”
“-උඹට ඉතිං කැමති වෙන්න නං අන්ධ කෙල්ලෙක් වෙන්න ඕන.බලපං හැටි.අන්තිමට උඹ නෑවෙ කවදද ? “
වවුල කොටාට කෙමෙස්ට්‍රි පන්තියෙ සුද්ධ සිංහල උගන්නන්න පටං ගත්ත.ඒ අතරේ මම ආපහු දීප්ති දිහා බැළුව..ටික වෙලාවකින් එයා ආපහු මං දිහා බලල හිනා උනා..
කාලය ඔහොම ගත උනා..දීප්ති මගේ එකවුන්ට් එකටම බැර උනා. ඒත් මං කවදාවත් එයා එක්ක කතා කරලවත් තිබුනෙ නෑ.ඒත් කොල්ලො කියන විදියට නම් අපිට දැං ලමයි හත් අට දෙනෙකුත් ඉන්නවලු.. කතා නොකරට දීප් හැම වෙලාවෙම වගේ මං දිහා බලල අහිංසකව හිනා වෙනව..
දවසක් ක්ලාස් එක වෙනදට වඩා පැයකට කලින් ඉවර උනා..
“උඹ අපේ පිරිමි ජාතියටම නින්දාවක්.. අද තමයි අන්තිම දවස. අදත් මඟ ඇරියොත් නම් පුතේ ඇත්තමයි උඹව මුහුදට දානව හාල්මැස්සො කාල මැරෙන්න.. අපිත් එනව පිකප් එකට.පුරුෂ ශක්තිය අතර අරන් ගිහින් අරකිගෙන් අහපන්”
කොටා හිටු කියල මට බනිනව..යාළුවොන්ගෙ කීමත් අහන්න එපයි..
“- හරි…. කොහෙදිද අහන්නෙ ? “
” එල.. ස්ටෑන්ඩ් යමු.ඔය පාරෙ බස් අඩුයි. ඉතිං ගොඩක් වෙලා ස්ටෑන්ඩ් එකේ ඉන්නව උඹේ සුකුමාලි.”
අපි දීප් පස්සෙන්ම ස්ටෑන්ඩ් එකට ආව..එක කෙල්ලෙක්ගෙන් කැමැත්ත අහන්න කොල්ලො පස් දෙනෙක්ම මට සපෝට් එකට එනව.එනව.කරුමෙකට එයාලගෙ පාරෙ යන බස් එකක් තියෙනව.කෙල්ලත් ටක් ගාල නැග්ග ඒකට..
“ඕක යන්න තව වෙලා තියෙනව.නැගපල්ල ඉක්මනට.හුරතල් නොවී ටක් ගාල අහපන්.” වවුල කියවනව.. මගේ පපුව නම් දැන් රුහුණු කුමාරි එන්ජිම වගේ… ඕන රෙද්දක්, කැමැත්ත අහල කෙල්ලෙක් මුලුන්ම බෑ කියල තියෙන්නෙ මට විතරක් නෙමෙයිනෙ..අපි සෙට් එකම ඉස්සරහ දොරෙන් බස් එකට නැග්ග. කෙල්ල පේන්න නෑ..සීට් එකින් එකට බල බල අපි පස්සට එනව.. නෑනෙ..
කොටා මගේ උරහිසට අතක් තිබ්බ.
“නෑනෙ බං” මම කිව්ව.
කොටා ඇස් වලින් පෙන්නපු දිහා මමත් බැළුව.. දීප්… ඔව් ඒ දීප්ම තමයි..එයා කාටද කොල්ලෙක්ට තුරුල් වෙලා අන්තිම සීට් එකේ.. මගේ කකුල් දෙක වෙවුලන්න ගත්තා.. එක පාරටම දීප් මාව දැක්ක.. එයා වෙනද වගේම මාත් එක්ක හිනා උනා. ඒ හිනාව හැමදාම වගේ අහිංසකයි.. එතකොට මම ඒ අහිංසක සිනාව තේරුම් ගනිපු හැටි වැරදිද ?
“යමං” කොටා මාවත් ඇදගෙන බස් එකෙන් බිමට බැස්සා..
සිනහවක් කියන්නේ ආදරයක්ම නෙමේනේ…